වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!


වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත් උපකුලපති තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ.

විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ අපේ රත්නායක මහත්තයායි.

මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු. 

එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක.

රේඛීය විජේනායක ගේ ඔය රේඛීය කියන්නේ නම නෙමේ, ඒක නික් නේම් එකක් හෙවත් අන්වර්ථ නමක්. විජේනායකට රේඛීය කියන්නේ පොර නිතරම ගමන් කරන්නේ සරල රේඛාවල නිසයි. හැරෙන්න ඕනෑ වුණාම හැරිලා ආපහු සරල රේඛාවකම ගමන් කරනවා. ඒකට හේතුව ගමන් කරන දුර අවම කරන්න වෙන්න ඕනෑ. මොකද, ලක්‍ෂ්‍ය දෙකක් අතර අවම දුර තියෙන්නේ ඒ දෙක අතර අඳින සරල රේඛාව දිගේ නේ!

යුනිවසිටිවල තාවකාලික තනතුරුවලට බඳවා ගන්න අයගේ පත්වීම් සාමාන්‍යයෙන් අධ්‍යයන වර්ශය ඉවර වෙනවාත් එක්කම ඉවර වෙනවා. එතැන ඉඳලා ඊලඟ අවුරුද්දේ වැඩ පටන් ගන්න තුරු ලැබ්වල, ටියුට්වල වැඩ නෑනේ, ඒකයි හේතුව. අනික ඊලඟ අධ්‍යයන වර්ෂය පටන් ගන්න කොට කොහොමටත් අළුතින් අවුට් වෙන බැච් එකේ අය ඉන්නවානේ තාවකාලික පත්වීම් දෙන්න!

ඔන්න ඔය සයිකල් එකේ ගිය රේඛීය විජේනායකගේ තාවකාලික පත්වීමත් අධ්‍යයන වර්ෂය අවසානයත් එක්ක අවසාන වුණා. පොර හිතුවා වීසී පත්වීම දික් කරයි හරි එහෙම නැත්තං අළුතින්ම තාවකාලික පත්වීමක් දෙයි කියලා. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක වුනේ නෑ. රේඛීය විජේනායකට වෙනත් ජොබක් සෙට් වෙලා නොතිබුණු නිසා ගෙදර යන්න වුණා!

පොර ඒ ගියේ වීසී එක්ක මල පැනලා, මහා කෝපයෙන්.

හැබැයි ඉතිං ඒ ගියා කියලා රේඛීය විජේනායක නිකං හිටියේ නෑ. පොර මැවිසුරුවෙක් නේ. ජොබ්වලට ඇප්ලයි කරන ගමන් පොඩි ඉඳිකිරීම් කටයුතුවලට සම්බන්ධ බිස්නස් එකක් පටන් ගත්තා. ලාවට වගේ පටන් ගත්තාට, මාසෙන් දෙකෙන් වැඩේ නැගලා ගියා, පොර ඊට පස්සේ මාර උනන්දුවෙන් වැඩට බැහැලා බිස්නස් එක කරගෙන ගියා.

රේඛීය විජේනායක විශ්ව විද්‍යාලයේ ජොබ් එකෙන් ගෙදර ගිහින් මාස හයකට විතර පස්සේ ඔන්න වීසීට කෝල් එකක් ආවා. කෝල් එක ගත්තේ වීසී ගේ ඇසිස්ටන්ට් ස්ටෙනෝ නෝනායි.

"හලෝ මට වීසීට කතා කරන්න පුළුවන්ද?"

"සර් නං ඔෆීස් එකේ නෑ. කවුද කතා කරන්නේ?"

"මං මේ රේඛීය විජේනායක කියලා කෙනෙක්. මට කියන්න පුළුවන්ද වීසී ගේ පඩිය කීයද කියලා?"

"මං නං ඒක දන්නේ නෑ. ඇයි අහන්නේ?"

"එහෙනං වීසීට රේඛීය විජේනායක කිව්වා කියලා මෙහෙම කියන්න. ඔන්නං ජොබ් එක දාල එන්න මා ගාව වැඩ කරන්න, දැන් හම්බවෙන පඩියට වැඩියෙන් මං ගෙවන්නම්!"

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දර හාමිනේත් මේ ඊයේ කිව්වා ඔන්නං මට ජොබ් එකක් දෙන්නං කියලා!
Source Here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"